ශ්‍රී සුධර්මාරාම දහම්පාසැල් ඉතිහාසය හා තොරතුරු

ගම්වාසී දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු මගින් රටට දැයට වැඩදායී යහපත් පුරවැසියන් පිරිසක් බිහිකිරීමෙන් පොදුවේ සැමට යහපත උදා කිරීමත් යන උදාර පරමාර්ථ ඇතිව 1958 සැප්තැම්බර් මස 11 වැනි ඉරු දින රැටියල ශී‍්‍ර සුධර්මාරාම දහම් පාසල ආරම්භ කරන ලදී. එවකට විහාරාධිපතිව වැඩසිටි පූජ්‍යපාද කැකුළාදොළ ධම්මාලෝක ලොකුහාමුදුරුවන් වහන්සේ , විහාරවාසී පූජ්‍යපාද ගෝවින්නේ ජිනරතතන ලොකුහාමුදුරුවන් වහන්සේ සහ එවකට රැටියල කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පති දු. ර. වික‍්‍රම මැතිතුමා මෙහි ආදිකතෘවරු වෙති.

ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 12ක් වූ අතර , පොත්පත් ආදිය ලබාගැනීමට අවශ්‍ය මූලික ධනය ගම්වාසීන්ගේ ආධාර උපකාර මත ලබාගෙන කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් ශ්‍රේණි පෙළ පොත් ලබා ගෙන ඇත.
මුලින් රැටියල කණිටු විදුහල් භූමියේ පවත්වා ගෙන ආ දහම්පාසල දු.ර. වික‍්‍රම මහතාගේ ස්ථාන මාරුවත් සමග 1963 ජනවාරි මාසයේදි රැටියල විහාරස්ථානයට ගෙන එන ලදී.
නමුත් ඒ වන විට ධර්මශාලා පහසුකම් නොතිබූ හෙයින් එළිමහනේ ලෑලි ගසා සාදාගත් බංකු වල ශ්‍රේණි කිහිපයක් බිහිවිය පසුව 1967.05.18 වන දින විහාරස්ථ ධර්මශාලාව විවෘත කිරීම දහම්පාසලේ සන්ධිස්ථානයකි.
තරුණ බෞද්ධ සංගමයේ ක/බුල/884 ලෙසත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ක/2569 ලෙසත් ලියාපදිංචිය ලබා 2003.12.26 වැනි දින සිට 13/12/දපා/ලි/5131 ලෙසත් දහම් පාසලේ ලියාපදිංචිය තහවුරු කොටගෙන ඇත

වර්තමානය වන විට බුලත්සිංහල ශාසනාරක්ෂක බලමණ්ඩලය තුල දීප්තිමත් දහම්පාසලක් වූ ශී‍්‍ර සුධර්මාරාම දහම්පාසලෙහි ප‍්‍රධානාචාර්ය ධුරය හොබවනුයේ විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍යපාද මොරපිටියේ ධම්මතිලක ස්වාමින් වහන්සේ විසිනි. එසේම දහම් පාසලේ ආචාර්ය, පරිවේනාචාර්ය, පූජ්‍ය කුඩලිගම සෝරත හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය උගත් පරිණත ආචාර්ය භවතුන් මෙන්ම තරුණ ආචාර්ය භවතුන්ගෙන් සමන්විතය. මේ අතර වසර තිහකට අධික සේවා කාලයක් සහිත ගුරුවරු ද සිටීම මහත් අභිමානයකි.
දැනට 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා සිසුන් 300 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන අතර පනස් වසකට අධික කාලයක් තිස්සේ සිසුන් 4000 කට අධික සංඛ්‍යාවකට දහම් දැනුම ලබා දී ඇත. දහම්පාසල් තරඟාවලියන්හිදී අප දහම්පාසලේ සිසු දරුවන් දිස්ත‍්‍රික් හා සමස්ත ලංකා කුසලතා දැක්වීමට සමත් වෙති.
දරු දැරියන්ගේ බාහිර ක‍්‍රියාකාරකම් කෙරෙහිද සුවිශේෂී සැලකිල්ලක් දක්වමින් ශීල සමාදාන, භාවනා වැඩසටහන්, වෙසක් සතිය, පොසොන් උළෙල, බැතිගී සංදර්ශන, හිසතෙල් ගෑමේ මංගල්‍යය, ගුරු උපහාර උළෙල, ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානෝත්සවය ආදී විශේෂ බාහිර ක‍්‍රියාකාරකම් අන්තර්ගත වාර්ශික සැලැස්මක් ක‍්‍රියාත්මක වේ.
දහම්පාසල් සංවර්ධන සමිතිය, ධර්මෝදය ශිෂ්‍ය සමිතිය, ධර්මවිජය පදනම, ධර්මවිජය ළමා සමාජය, ධර්මවිජය සංස්කෘතික සංසදය, දහම්පාසල් ආදිශිෂ්‍ය සංගමය, සිරිලක බොදු දරුවෝ ශිෂ්‍ය සංවිධානය වැනි සංවිධාන සමග අත්වැල් බැඳගනිමින් ද දහම්පාසලේ කාර්යභාරය වඩාත් ඵලදායිව හා හරවත්ව සිදුකිරීම අපගේ අරමුණයි.