තම සිත සුරක්ෂිත කරගැනිම අයිති තමා ට ම බව පෙන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා දහය කින් යුක්ත යි.

 

157.෴

අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං – පටිජග්ගේය පණ්ඩිතෝ.

 

Attanance piyam janna
rakkheyya nam surakkhitam
tinnam annataram yamam
patijaggeyya pandito.

(භේසකලාවන – බෝධිරාජ ඇරබ)

තමාට තමා ප්‍රිය ය යි දන්නේ නම් නුවනැත්තා ඒ තමා (හෝ ආත්මය) මනා සේ රැක ගත යුතු යි, (බාල-තරුණ-මහලූ යන) තුන් වයසින් අඩුතරමින් එක් වයසක දී වත් එය ප්‍රතිසංස්කරණය කරන්නේ ය. (හෙවත් අකුශවලින් දුරු ව සිල් රැකීමාදියෙ හි යෙදිය යුතු ය. රෑ යාම තුනෙන් එක් යාමයක දී වත් නිදි දුරු කොට භාවනාදියෙහි යෙදිය යුතු ය යන අර්ථය ද දිය හැකි යි.)

 

158.෴

අත්තනාමේව පඨමං – පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය – න කිලිසෙය්‍ය පණ්ඩිතෝ.

 

Attanameva pathamam
patirupe nivesaye
athannamanusaseyya
na kilisseyya pandito.

(ජේතවන – උපනන්ද තෙරුන් ඇරබ)

නුවණැත්තා පළමු කොට තමා ම සුදුසු ගුණධර්මයන් හී පිහිටා ඉක්බිති අන්‍යයන් ට අනුශාසනා කරන්නේ ය. අනුන්ට අවවාද කරන්නට පෙර තමා ගුණකම් හී නො පිහිටීමෙන් පණ්ඩිතයා කිලූටු නො විය යුතු ය.

 

159.෴

අතතානං චේ තථා කයිරා – යථඤ්ඤමනුසාසති,
සුදන්තෝ වත දම්මේථ – අත්තාහි කිර දුද්දමෝ.

 

Attanance tatha kayira
yathannamanusasati
sudanto vata dametha
atta hi kara duddamo.

(ජේතවන – පධානික තිස්ස තෙරුන්)

යම් සේ පිළිපදින්නැයි අනුනට උපදෙස් දෙන්නේ නම් තමා පළමුව එම උපදේශයේම තමාත් පිහිටිය යුතුය; තමා දමනය වී අනුන්ට තිදොර හික්මවන්න ට අනුසාසනා කල යුතුය. තමා දමනය කිරීම අපහසු ය. දුකසේ කල යුත්තකි.

 

160.෴

අත්තා හි අත්තනෝ නාථෝ – කොහි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන – නාථං ලභති දුල්ලභං.

 

Atta hi attano natho
ko hi natho paro siya
attana hi sudantena
natham labhati dullabham.

(ජේතවන – කුමාර කස්සප තෙරුන්)

තමාට පිහිට වන්නේ තමා ම ය. අන් කවරෙක් තමාට පිහිට වන්නේද? මනා සේ හික්මවා ගත් තමා කරණකොට ලබන්නට දුර්ලභ වූ පිහිට (හෙවත් නිවණ) ලබයි.

 

161.෴

අත්තනාව කතං පාපං – අත්තජං අත්තසම්භවං
අභිමන‍්ථති දුම්මේධං – වජිරං ව සම්මයං මණිං.

 

Attana hi katam papam
attajam attasambhavam
abhimatthati dummedham
vajiramva’smamayam manim.

(ජේතවන – මහාකාල ඇරබ)

තමා විසින්ම කරන ලද, තමා කෙරෙහි හට ගත්, තමාගෙන් ම උපන් පාපය අඥානයා මැඩලයි. කුමක් මෙන් ද ගලෙන් උපන් දියමන්තිය ඒ ගල ම විනාශ කරන්නාක් මෙනි.

 

162.෴

යස්ස අච්චන්ත දුස්සීල්‍යං – මාලූවා සාලමිවොත්තං
කරෝති සෝ තථ’ත්තානං – යථා නං ඉච්ඡති දිසෝ.

 

Yassa accantadussilyam
maluva salamivotthatam
karoti so tatha’ttanam
yatha nam icchati diso.

(වෙළුවන – දෙවිදත් ඇරබ)

සල් ගසේ පැතිර සිටින මාලූවා වැලක් එම සල් ගස විනාශ කරන්න සේ පුද්ගලයා හාත්පසින් වැළදගෙන සිටින යමෙකුගේ බලවත් දුශ්ශීලභාවය , සතුරෙකු සතුරෙකු ට විපත් පමුණුවන්නාසේ තමා ට ම විපත් පමුණුවයි.

 

163.෴

සුකරානි අසාධූනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතං ච සාධූං ච – තං වේ පරමදුක්කරං.

 

Sukarani asadhuni
attano ahitani ca
yam ve hitanca sadhunca
tam ve paramadukkaram.

(වෙළුවන – සංඝභේදයක් ඇරබ)

තමා ට අවැඩ පිණිස පවත්නා දේද , නපුරු ක්‍රියා ද කිරීම ඉතා පහසුය. යමක් තමනට වැඩ පිණිස පවතී ද යහපත් ද ඒ ක්‍රියාව කිරීම අතිශයින් අපහසු ය.

 

164.෴

යෝ සාසනං අරහතං – අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ – දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව – අත්තඝඤ්ඤාය ඵල්ලති.

 

Yo sasanam arahatam
ariyanam dhammajivinam
patikkosati dummedho
ditthim nissaya papikam
phalani katthakasseva
attaghataya phallati.

(ජේතවන – කාල තෙරුන් ඇරබ)

යම් පවිටු අදහස් ඇත්තෙක්, වැරදි අවබෝධයක් නිසා, ධාර්මික වූ ආර්යය භාවයට පැමිණි රහතන් වහන්සේ ගේ අනුශාසනාව නො සලකා හරී ද, ප්‍රතික්ෂේප කරයි ද, ඔහු ට ලැබෙන ලාභ සත්කාරාදිය ඔහු ගේ ම විනාශය පිණිස පවතී. කුමක් මෙන් ද? උණ ගසේ ගෙඩි හට ගැන්ම ඒ ගසේ විනාශය පිණිස පවත්නාක් මෙනි.

 

165.෴

අත්තනාව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ.

 

Attana hi katam pipam
attana samkilissati
attana akatam papam
attanava visujjhati
suddhi asuddhi paccattam
nanno annanam visodhaye.

(ජේතවන – චූලකාල තෙරුන් ඇරබ)

තමා විසින් ම කරන ලද පව නිසා තමාම කිලිටි වේ. තමා විසින් පවක් නො කරන ලද නම් තෙමේ පිරිසිදු වෙයි. ශුද්ධි අශුද්ධි දෙක තම තමන්කෙරෙහි ම ය. අනිකෙක් අනිකෙකු පිරිසිදු නො කරයි.

 

166.෴

අත්ත දත‍්ථං පරෙත‍්ථන – බහුනාපි න හාපයේ
අත්ත දත‍්ථ මභිඤ්ඤාය – සදත‍්ථපසුතෝ සියා.

 

Attadattham paratthena
bahunapi na hapaye
attadatthamabhinnaya
sadatthapasuto siya.

(ජේතවන – අත්තදත්ථ තෙරුන් ඇරබ)

බොහෝ සේ අනුන් සදහා වැඩ කිරීමට ගොස් තමා ගේ යහපතට හානි කරගත යුතු නො වේ. තමා ගේ යහපතට හේතු වන සිල් පිරීම් භාවනා කිරීම් ආදිය මනා සේ දැනගෙන ඒ ස්වකීය නිදහස ලැබීමෙහි නිරත විය යුතු ය.

 

අත්ත වග්ගය නිමි!