ලොව්තුරු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා පිළිබද වදාළ ගාථා දහඅටකින් යුක්තයි.

 

179.෴

යස්ස ජිතං නාවජියති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තං බුද්ධමන්නතගෝචරං – අපදං කේන පදේන නේස්සථ

Yassa jitam navajiyati
jitam yassa no’yati koci loke

tam buddhamanantagocaram

apadam 
kena padena nessatha.

(බෝමැඩ – මාරදුවරුන් ඇරබ)

යමෙකු දිනාගත් දෙය නැවත පරාජයට පත් කළ නො හැකි ද, යමකු විසින් පරදවන ලද දෙය නැවත කිසි කලෙක ඔහු ලූහුබැද නො ඒවි ද, සියලූ දේ දත්, කෙලෙසුන් හී පිහිටීමක් නැති ඒ බුදුරජු කවර ආකාරයකින් මාරයා වෙත ගෙන යව් ද?

 

180.෴

යස්ස ජාලිනී විසත්තිකා – තණ්හා නත‍්ථී කුහිංචි නේතවේ,
තං බුද්ධමන්නතගෝචරං – අපදං කේන පදේන නේස්සථ

Yassa jalini visattika
tanha natthi kuhinci netave
tam buddhamanantagocaram
apadam kena padena nessatha

(බෝමැඩ – මාරදුවරුන් ඇරබ)

යමෙකු යම්කිසිතැනකට ගෙනයාම සදහා උපකාරක දැලක් වැනි බැවින් ජාලිනී නම් වු අතිශයින් ම ඇලෙන බැවින් විසත්තිකා නම් වූ තෘෂ්ණාව යමෙකුට නැත්නම්, සියලූ දෙය පිරිසිද දත්, කෙලෙස් පිහිටීම නැති ඒ බුදුරද කවරාකාරයකින් මාරයා වෙත ගෙන යව් ද?

 

181.෴

යේ ඣානපසුතා ධීරා – නෙක‍්ඛම්මුපසමේ රතා,
දේවාපි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං.

 

Ye jhanapasuta dhira
nekkhammupasame rata
devapi tesam pihayanti

sambuddhanam satimatam.

(සංකස්ස – යමක ප්‍රාතිහාරිය ඇරබ)

යම් නුවණැති පුද්ගල කෙනෙක් ධ්‍යාන වැඩීමෙහි යෙදුනාහු ද කෙලෙසුන් සංසිදීයාම ට හේතු වූ නිවණෙහි ඇලූණාහු ද, මනා සේ ධර්මාවබෝධය කළ ඒ උතුමන් ට දෙවියෝත් ප්‍රිය කෙරෙත්.

 

182.෴

කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ.

 

Kiccho manussapatilabho
kiccham maccana jivitam
kiccham saddhammassavanam

kiccho buddhanamuppado.

(බරණැස – එරකපත්ත නා රජු ඇරබ)

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අපහසු ය. මිනිසුන් ගේ ජීවත් වීමත් අපහසු ය. සත්‍ය ධර්මයක් අසන්නට ලැඛෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින් ම දුර්ලභ යි.

 

183.෴

සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධානසාසනං

 

Sabbapapassa akaranam
ku salassa upasampada
sacittapariyodapanam

etam buddhana sasanam.

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.

 

184.෴

ඛන්තී පරමං තපෝ තිතික‍්ඛා – නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී – සමණෝ හෝති පරං විහේඨයන්තෝ

 

Khanti paramam tapo titikkha
nibbanam paramam vadanti buddha
na hi pabbajito parupaghati
na samano hoti param vihethayanto.

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන් කළ නුරුස්සනා දෙය ඉවසීම ය යි කියන ලද ක්ෂාන්තිය උතුම් තපසකි. බුදුවරු නිවන උසස් යැයි කියත්. අනුන්ට හිංසා පීඩා කරන, අනුකම්පාවක් නැති පැවිද්දා ශ්‍රමණයෙක් නො වේ.

 

185.෴

අනුපවාදෝ අනුපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤු තා ච භත්තස්මිං – පන්තං ච සයනාසනං,
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං.

 

Anupavado anupaghato
patimokkhe ca samvaro
mattannuta ca bhattasmim
pantanca sayanasanam
adhicitte ca ayogo
etam buddhana sasanam.

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන්ට හෙළා තළා කතා නො කිරීම ද, අනුන් ට හිංසා නො කිරීම ද, භික්ෂුන්ට අයත් ශික්ෂා පදයන් හී හික්මීම ද (හෙවත් ඒවා පිළිපැදීම ද) ආහාරයෙ හි පමණ දැන අනුභව කිරීම ද, ගමින් දුරු වූ (විවේක ඇති) ආරාමයන් හී විසීම ද, සමාධි භාවනාවෙ හි යෙදීම ද යන මේවා කළ යුතු යැ යි බුදුවරුන් විසින් ප්‍රකාශ කරන ලද හ.

 

186.෴

න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පසසාදා දුඛා කාමා – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ.

 

Na kahapana vassena
titti kamesu vijjati
appassada dukha kama
iti vinnaya pandito.

(ජේතවන – කලකිරුණු භික්ෂුවක් ඇරබ)

කහවනු වැස්සක් වැස්සත් කාමයන් හී තෘප්තියක් ඇති නො වේ ය යි ද, කාමයෝ යනු ස්වල්ප ආස්වාද ඇත්තාහු ය, බොහෝ ආදීනව දුක් සහිත ය යි ද දැනගෙන කාමයන් හී ද ඇලීමකට පත් නොවිය යුතු වෙයි.

 

187.෴

අපි දිබ්බේසු කාමේසු – රතිං සෝ නාධිගච්ඡති
තණ්හාක්ඛයරතෝ හෝති – සම්මාසම්බුද්ධ සාවකෝ.

 

Api dibbesu kamesu
ratim so nadhigacchati
tanhakkhayarato hoti
sammasambuddhasavako.

(ජේතවන – කලකිරුණු භික්ෂුවක් ඇරබ)

නුවනැත්තා දිව්‍යමය කාමයන් හී ද ඇලීමක ට පත් නො වෙයි . ඒ බුද්ධ ශ්‍රාවකයා ආශාවන් ගෙවා දැමීමෙ හි යෙදුනේ වෙයි.

 

188.෴

බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාම- රුකඛ-චේත්‍යානි – මනුස්සා භයතජ්ජිතා.

 

Bahum ve saranam yanti
pabbatani vanani ca
aramarukkhacetyani
manussa bhayatajjita.

(ජේතවන – කොසොල් රජුගේ පෙරෙවි බමුණා ඇරබ)

(රෝගභයාදි) බියෙන් තැති ගත් බොහෝ මිනිසුන්, පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස් ද (දෙවියන් සම්බන්ධ) චෛත්‍යයන් ද සරණ කොට ගනිත්.

 

189.෴

නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණ මුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති.

 

Netam kho saranam khemam
netam saranamuttamam
netam saranamagamma
sabbadukkha pamuccati.

(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

මේ පර්වතාදිය සරණ යාම නිර්භය බව එළවන්නක් නො වේ. මේ සරණය උතුම් නො වේ. මේ සරණය ගෙන සියලූ දුකින් නො මිදේ.

 

190.෴

යෝ ච බුද්ධං ච ධම්මං ච – සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති.

 

Yo ca buddhanca dhammanca
samghanca saranam gato
cattari ariyasaccani
sammappannaya passati.

191.෴

දුක්ඛං, දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං,
අරියං ච’ට්ඨංගිකං මග්ගං – දුක්ඛු’පසමගාමිනං.

Dukkham dukkhasamuppadam
dukkhassa ca atikkamam
ariyam catthangikam maggam
dukkhupasamagaminam.

(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

යමෙක් බුදුන් හා උන්වහන්සේ ගේ ධර්මය ත් ශ්‍රාවක සංඝයා ත් සරණ ගියේ වේද, දුක ය, දුකේ හටගැන්ම ය, දුක නැති කිරීම ය, දුක නැති කිරීම සදහා ගමන් කළ යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ආර්ය සත්‍ය සතර මනා සේ නුවණින් දකී.

 

192.෴

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති.

 

Etam kho saranam khemam
etam saranamuttamam
etam saranamagamma
sabbadukkha pamuccati.

(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

මේ පිහිට සොයා යාම නිර්භය එකකි. මේ සරණය උතුමිය, මේ සරණය කරා පැමිනෙන් නෝ සියලූ දුකින් මිදේ.

 

193.෴

දුල්ලභො පුරිසාජඤ්ඤා – න සෝ සබ්බත‍්ථ ජායති
යත‍්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධති.

 

Dullabho purisajanno
na so sabbattha jayati
yattha so jayati dhiro

tam kulam sukhamedhati.

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

පුරුෂ ශ්‍රේෂ්ඨයා (තථාගත යන් වහන්සේ ) දුර්ලභ කෙනෙකි. හෙතෙම හැම තැන නූපදී. යම් තැනක (පවුලක) ඒ වීරයා උපදින්නේ නම් ඒ කුලය සැපතට පත් වේ.

 

194.෴

සුඛෝ බුද්ධානං උප්පාදො – සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි – සමග්ගානං තපෝ සුඛෝ.

 

Sukho buddhanamuppado
sukha saddhammadesana
sukha sanghassa samaggi
samagganam tapo sukho.

(ජේතවන – බොහෝ භික්ෂුන් ඇරබ)

බුදුවරුන් ගේ ඉපදීම සැපයට හේතුවකි. සදහම් දෙසීම සැපයට හේතුවකි. භික්ෂු සංඝයා ගේ සමගිය සැපයට හේතුවකි. සමගි වූවන් ගේ සිල් රැකීම සැපයට හේතුවකි .

 

195.෴

පූජාරහේ පූජයතේ – බුද්ධේ යදිව සාවකේ
පපංචසමතික්කන්තේ – තිණ්ණසෝක පරිද්දවෙ.

 

Pujarahe pujayato
buddhe yadi va savake
papancasamatikkante

tinnasokapariddave.

(චාරිකාවකදි – කසුප් බුදුරදුන්ගේ සෑය ඇරබ)

සියලූ පූජාවන්ට සුදුසු වූ, තෘෂ්ණා-දෘෂ්ටිමානයන් දුරු කළ, ශෝක හා වැලපීම් ඉක්මවා ගිය බුදුවරුන් ට හෝ බුද්ධ ශ්‍රාවකයන් ට පූජා කරන්නේ ද….

 

196.෴

තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉදම්මත්තංති කේනචි.

 

Te tadise pujayato
nibbute akutobhaye
na sakka punnam sahkhatum
imettamapi kenaci.

(චාරිකාවකදි – කසුප් බුදුරදුන්ගේ සෑය ඇරබ)

කෙලෙස් ගිනි නිවා දැමූ, කිසි තැනකිනුත් බියක් නැති එවැනි ඒ උතුමන්ට පූජා කරන්නහුට ලැඛෙන පින මෙ පමණය යි ප්‍රමාණ කළ නො හැක.

 

බුද්ධ වග්ගය නිමි!