නාග යනු හස්තියා (ඇතා) කියන අර්ථය යි. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථාවන් දාහතරක් නාග වග්ගය තුළ අන්තර්ගත ව ඇත.

320.෴

අහං නාගොව සඞ්‌ගාමෙ – චාපතො පතිතං සරං,
අතිවාක්‍යං තිතික්‌ඛිස්‌සං – දුස්‌සීලො හි බහුජ්‌ජනො.

 

Aham nagova sangame
capato patitam saram
ativakyam titikkhissam
dussilo hi bahujjano.

(කෝසම්බි – තමන් වහන්සේ ම අරබයා )

යුධ බිමට ගිය ඇතා දුන්නෙන් විදි ඊතල ඉවසන්නාක්මෙන් මම අනුන් කියන ඇනුම්පද ඉවසමි. ලෝකයෙ හි බොහොදෙන සිල් නැත්තෝ ය.

321.෴

දන්‌තං නයන්‌ති සමිතිං – දන්‌තං රාජාභිරූහති,
දන්‌තො සෙට්‌ඨො මනුස්‌සෙසු – යොතිවාක්‍යං තිතික්‌ඛති.

 

Dantam nayanti samitim
dantam raja’ bhiruhati
danto settho manussesu
yo’ tivakyam titikkhati.

(කෝසම්බි – තමන් වහන්සේ ම අරබයා )

බොහෝ දෙනා සිටිනා තැනකට යවන්නේ හොඳින් හීලෑ කල ඇතෙක් ය. රජු නගින්නෙත් මනාව සංවර කල ඇතකු හෝ අසකු පිටය. යමෙක් රළු බස් ඉවසන්නේ ද ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි.

 

322.෴

වරමස්‌සතරා දන්‌තා – ආජානීයා ච සින්‌ධවා,
කුඤ්‌ජරා ච මහානාගා – අත්‌තදන්‌තො තතො වරං.

 

Varamassatara danta
ajaniya ca sindhava
kunjara ca mahanaga
attadanto tato varam.

(කෝසම්බි – තමන් වහන්සේ ම අරබයා )

හික්මුනා වූ අජානේය අශ්වයෝ ද, අදහස් වහා දැනගන්නා සින්ධු දේශයෙහි උපන් අශ්වයෝ ද, කුංජර නම් වූ මහා ඇත්තු ද, සතුන් අතර උතුම් වෙති. තමා හික්මවා ගත් පුද්ගලයා ඒ සියල්ලට ම වඩා උතුම් ය.

323.෴

න හි එතෙහි යානෙහි – ගච්‌ඡෙය්‍ය අගතං දිසං,
යථාත්‌තනා සුදන්‌තෙන – දන්‌තො දන්‌තෙන ගච්‌ඡතී.

 

Na hi etehi yanehi
gaccheyya agatam disam
yatha’ ttana sudantena
danto dantena gacchati.

(ජේතවන – පැවිදි වූ ඇතරුවකු අරබයා )

මනාසේ හික්මවීම නීසා දැමුණා වූ තමා ගේ සිත කරණ කොට, පෙර නො ගිය දිශාවක් වූ නිවනට යයි ද, (එ මෙන්) මෙකී අශ්වයනාදියෙන් ඒ දිශාවට යා නො හැක.

324.෴

ධනපාලො නාම කුඤ්‌ජරො – කටුකභෙදනො දුන්‌නිවාරයො,
බද්‌ධො කබළං න භුඤ්‌ජති – සුමරති නාගවනස්‌ස කුඤ්‌ජරො.

 

Dhanapalo nama kunjaro
katukabhedano dunnivarayo
baddho kabalam na bhunjati
sumarati nagavanassa kunjaro.

(සවත්ථි – බමුණකු ගේ පුතුන් අරබයා )

තියුණු මද වෑහෙන, හික්මවීමට අපහසු වූ ධනපාලක නම් ඇතා බඳින ලද්දේ (හෙවත් අල්වා ගන්නා ලද්දේ) ආහාර අනුභව නො කරයි. ඒ ඇතා තමා විසූ වනය ම සිහිකරයි.

325.෴

මිද්‌ධී යදා හොති මහග්‌ඝසො ච -නිද්‌දායිතා සම්‌පරිවත්‌ත සායී,
මහාවරා හොව නිවාප පුට්‌ඨො – පුනප්‌පුනං ගබ්‌භමුපෙති මන්‌දො.

 

Middhi yada hoti mahagghaso ca
niddayita samparivattasayi
mahavarahova nivapaputtho
punappunam gabbhamupeti mando.

(ජේතවන – කොසොල් රජු අරබයා )

යමෙක් බොහෝසේ අනුභව කරන්නේද, මැලිගතියෙන් යුක්ත වේ ද, ඒ මේ අත පෙරළි පෙරළී නිතර නිදන ස්වභාව ඇත්තේ ද, ඒ අඥානයා ආහාරයෙන් වැදුණු මහා ඌරෙකු මෙන් නැවත නැවත සසර ඉපදීමට පැමිණෙයි.

326.෴

ඉදං පුරෙ චිත්‌තමචාරි චාරිකං – යෙනිච්‌ඡකං යත්‌ථකාමං යථාසුඛං,
තදජ්‌ජහං නිග්‌ගහෙස්‌සාමි යොනිසො – හත්‌ථිප්‌පභින්‌නං විය අඞ්‌කුසග්‌ගහො.

 

Idam pure cittamacari carikam
yenicchakam yatthakamam yathasukham
tadajjaham niggahessami yoniso
hatthippabhinnam viya ankusaggaho.

(ජේතවන – සානු සාමණේරයන් අරබයා )

පෙර මේ සිත රුපාදී අරමුණු වල තමන්ට රිසි ආකාරයකින් හැසිරුනේය. හෙන්ඩුව ගත් ඇත් ගොව්වා මද කිපුණු ඇතෙකු හික්මවන්නා සේ මම අද ඒ සිත හික්මවීමි.

327.෴

අප්‌පමාදරතා හොථ – සචිත්‌තමනුරක්‌ඛථ,
දුග්‌ගා උද්‌ධරථත්‌තානං – පඞ්‌කෙ සන්‌නොව කුඤ්‌ජරො.

 

Appamadarata hotha
sacittamanurakkhatha
dugga uddharath’ attanam
panke sannova kunjaro.

(ජේතවන – බද්ධෙකරක ඇතා අරබයා )

අප්‍රමාදයේ හි ඇලෙව්. තමන් ගේ සිත් රැකගනිව්, මඩ වගුරක එරුණු ඇතෙක් ඉන් ගොඩවන්නාක් මෙන් මේ කෙලෙස් දුර්ගයෙන් ගැලවෙව්.

328.෴

සචෙ ලභෙථ නිපකං සහායං – සද්‌ධිංචරං සාධුවිහාරි ධීරං,
අභිභුය්‍ය සබ්‌බානි පරිස්‌සයානි – චරෙය්‍ය තෙනත්‌තමනො සතීමා.

 

Sace labhetha nipakam sahayam
saddhim caram sadhu vihari dhiram
abhibhuyya sabbani parissayani
careyya tena’ ttamano satima.

(රක්ඛිත වනය – භික්ෂූන් අරබයා )

ඉඳින් ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත වූ, මනා පැවතුම් ඇතිව හැසිරෙන්නා වූ පණ්ඩිතවූ මිත්‍රයෙකු ලබන කෙනෙක් ඔහු සමග එක් ව හැම උවදුරු මැඩපවත්වා සතුටු සිත් ඇති ව සිහි ඇති ව හැසිරීම සුදුසුය.

329.෴

නො චෙ ලභෙථ නිපකං සහායං – සද්‌ධිංචරං සාධුවිහාරි ධීරං,
රාජාව රට්‌ඨං විජිතං පහාය – එකො චරෙ මාතඞ්‌ගරඤ්‌ඤෙව නාගො.

 

No ce labhetha nipakam sahayam
saddhim caram sadhu vihari dhiram
rajava rattham vijitam pahaya
eko care matanga’ ranneva nago.

(රක්ඛිත වනය – භික්ෂූන් අරබයා )

ඉඳින් තැනට සුදුසු නුවණැති සමග හැසිරෙන සමාන පැවතුම් ඇති පණ්ඩිත මිතුරෙකු නො ලබන්නේ නම් ජය ගත් රට හැරගිය රජෙකු මෙන්, රැල හැරගොස් වනයෙ හි තනිව හැසිරෙන ඇත් රජෙකු මෙන් තනි ව හැසිරීම සුදුසුය.

330.෴

එකස්‌ස චරිතං සෙය්‍යො – නත්‌ථි බාලෙ සහායතා,
එකො චරෙ න ච පාපානි කයිරා – අප්‌පොස්‌සුක්‌කො මාතඞ්‌ගරඤ්‌ඤෙව නාගො.

 

Ekassa caritam seyyo
natthi bale sahayata
eko care na ca papani kayira
appossukko matanga’ ranneva nago.

(රක්ඛිත වනය – භික්ෂූන් අරබයා )

අඥානයන්හා මිත්‍ර ව විසීමට වඩා හුදෙකලා ව හැසිරීම උතුම් ය. කැලෑවේ තනි ව හැසිරෙන මාතාංග හස්තියා මෙන් හුදෙකලා ව හැසිරෙන විට පව් ද, නො පිරේ.

 

331.෴

අත්‌ථම්‌හි ජාතම්‌හි සුඛා සහායා – තුට්‌ඨී සුඛා යා ඉතරීතරෙන,
පුඤ්‌ඤං සුඛං ජීවිතසඞ්‌ඛයම්‌හි – සබ්‌බස්‌ස දුක්‌ඛස්‌ස සුඛං පහානං.

 

Atthamhi jatamhi sukha sahaya
tutthi sukha ya itaritarena
punnam sukham jivitasankhayamhi
sabbassa dukkhassa sukham pahanam.

(හිමවත – මාරයා අරබයා )

වැඩක් ඇති කල් හි යහළුවන්ගෙන් ප්‍රයෝජන ඇත්තේ ය. කෑම බීම ආදිය සඳහා ලැබුණු දෙයකින් සතුටු වීම සැපයකි. ජීවිතය ගෙවී යන කල් හි හෙවත් මරණාසන්න අවස්ථාවේ පින සැප පිණිස පවතී. සියලු දුක් දුරු කිරීම ඒකාන්ත සැපය යි.

 

332.෴

සුඛා මත්‌තෙය්‍යතා ලොකෙ – අථො පෙත්‌තෙය්‍යතා සුඛා,
සුඛා සාමඤ්‌ඤතා ලොකෙ – අථො බ්‍රහ්‌මඤ්‌ඤතා සුඛා.

 

Sukha matteyya loke
atho petteyyata sukha
sukha samannata loke
atho brahmannata sukha.

(හිමවත – මාරයා අරබයා )

මෑණියන්ට සංග්‍රහ කිරීම සැපයට හේතුවකි. පියාණන්ට උපස්ථාන කිරීමත් එ සේ ය. ශ්‍රමණයන් ට උපස්ථාන කිරීම ලෝකයෙහි සැපයට හේතුවකි. කෙලෙසුන් දුරුකළ බ්‍රාහ්මණයන්ට සත්කාර කිරීම ද, සැපයට හේතුවකි.

333.෴

සුඛං යාව ජරාසීලං – සුඛා සද්‌ධා පතිට්‌ඨිතා,
සුඛො පඤ්‌ඤාය පටිලාභො – පාපානං අකරණං සුඛං.

 

Sukham yava jara silam
sukha saddha patitthita
sukho pannaya patilabho
papanam akaranam sukham.

(හිමවත – මාරයා අරබයා )

මහලු අවස්ථාව දක්වා සිල් රැකීම සැපයකි. නො සෙලවෙන සේ පිහිටි ශ්‍රද්ධාව සැපයකි. ලෞකික – ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම සැපයකි. පව් නො කිරීම ද සැපයකි.

 

නාග වග්ගය නිමි!