පාපය දුරු කිරිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
306.෴

අභූතවාදී නිරයං උපෙති – යො චා පි කත්වාන න කරොමීති චාහ
උභොපි තෙ පෙච්ච සමා භවන්ති – නිහීනකම්මා මනුජා පරත්ථ.

 

Abhutavadi nirayam upeti
yo vapi katva na karomi caha
ubhopi te pecca sama bhavanti
nihinakamma manuja parattha.

(ජේතවන – සුන්දරී පිරිවැජ ඇරබ)

බොරු කියන්නා ද නරකයට යයි. කළ දෙය නොකළේ යයි කියන්නා ද නරකයට යයි. ළාමක ක්‍රියා ඇති ඒ පුද්ගලයෝ දෙදෙන ම පරලොව දී සමාන වෙත්.

 

307.෴

කාසාවකණ්ඨා බහවො – පාපධම්මා අසඤ්ඤත
පාපා පාපෙහි කම්මේහි – නිරයං තෙ උප්පජ්ජරෙ.

 

Kasavakantha bahavo
papadhamma asannata
papa papehi kammehi
nirayam te upapajjare.

(වේළුවන – පවින් ජීවත් වූ පිරිසක් ඇරබ)

කසාවත් කරේ දමාගත් මුත් ළාමක ක්‍රියා ඇති, කය වචන දෙකේ හික්මීමක් නැති, පුද්ගලයෝ බොහෝ වෙති. ඒ පවිටෝ පවිටු ක්‍රියාවලින් නරකයෙහි උපදිත්.

 

308.෴

සෙය්‍යො අයොගුළො භූත්තෝ – තත්තෝ අග්ගිසිඛූපමො,
යං චෙ භූඤ්ජෙය්‍ය දුස්සීලො – රට්ඨපිණ්ඩං අසඤ්ඤතෝ.

 

Seyyo ayogulo bhutto
tatto aggisikhupamo
yance bhunjeyya dussilo

ratthapindamasannato.

(වෙසාලී – වග්ගුමුදාතීරිය තෙරුන් ඇරබ)

සීලයෙන් තොරව, කායවාක් සංවරයක් නැතිව සිට සැදැහැතියන් පුදන දානය අනුභව කිරීමට වඩා රත් වූ ගිනි සිලක් වැනි වූ යව ගුලියක් ගිලීම වටී .

309.෴

චත්තාරි ඨානානි නරො පමත්තෝ – ආපජ්ජතී පරදාරූපසේවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං – නින්දං තතීයං, නිරයං චතුත්ථං.

 

Cattari thanani naro pamatto
apajjati paradarupasevi
apunnalabham na nikamaseyyam
nindam tatiyam nirayam catuttham.

(ජේතවන – ඛේම නම් සිටු පුතු ඇරබ)

පරඹුවන් කරා යන ප්‍රමාදී පුද්ගලයා අකුසල් රැස් කිරීම ය, කැමති සේ නිදි නො ලැබීම ය, තෙවෙනි වූ රටුන්ගෙන් එන නින්දාව ය, සිවු වෙනි වූ (මරණින් පසු) නරකාදියෙ හි ඉපදීම ය, යන කරුණු සතර ලබයි.

310.෴

අපුඤ්ඤලාභෝ ච, ගතිච පාපිකා – භීතස්ස භීතාය රතී ච ථොකිකා,
රාජා ච දණඩං ගරුකං පණෙති – තස්මා නරො පරදාරං න සේවේ.

 

Apunnalahho ca gati ca papika
bhitassa bhitaya rati ca thokika
raja ca dandam garukam paneti
tasma naro paradaram na seve.

(ජේතවන – ඛේම නම් සිටු පුතු ඇරබ)

පරදාර සේවනයෙන් අකුසල් රැස් වීම ද දුගතියක ඉපදීමද සිදු වේ. සොරෙන් බියෙන් සැකයෙන් යෙදෙන මේ ක්‍රියාවේ කාමාස්වාදය ද අල්ප වේ. රජ හෙවත් ආණ්ඩුව ද බරපතල දඩුවම් පමුණුවයි. එහෙයින් පරදාරාවන් සේවනය නො කරන්න.

311.෴

කුසො යථා දුග්ගහිතො – හත්ථමෙවානුකන්තති,
සාමඤ්ඤං දුප්පරාමට්ඨං – නිරයායු පඤ්ඤවඪති.

 

Kuso yatha duggahito
hatthameva’ nukantati
samannam dupparamattham
nirayayu’ pakadhati.

(ජේතවන – දුර්වච මහණෙකු ඇරබ)

යම්සේ (හුලස් අතට වැදෙන සේ) වරදවා අල්වා ගත් කුස තණ ගස අත කපයි ද, එ මෙන් සිල් බිඳීමින් වැරදි සේ කරන මහණකම ඒ පුද්ගලයා නරකයට ඇද දමයි.

312.෴

යං කිංචී සිථීලං කම්මං – සංකිලිට්ඨං ච යං වතං,
සංකස්සරං බ්‍රහ්මචරියං – න තං හොති මහපඵලං.

 

Yam kinci sithilam kammam
samkilitthanca yam vatam
sankassaram brahmacariyam
na tam hoti mahapphalam.

(ජේතවන – දුර්වච මහණෙකු ඇරබ)

ඕනෑවට එපාවට කළ කුශලයත්, කිලිටි වූ සිල් රැකීමත්, අනුන් විසින් සැක කෙරෙන බ්‍රහ්ම චර්යාවත් මහත් ඵල නො වේ.

313.෴

කයිරා චෙ කයිරාථෙතං  – දළ්හමෙතං පරක්කමෙ
සිථීලො හි පරිබ්බාජො – භීයො ආකිරතේ රජං.

Kayira ce kayirathenam
dalhamenam parakkame
sithilo hi paribbajo
bhiyyo akirate rajam.

(ජේතවන – දුර්වච මහණෙකු ඇරබ)

කුශලයත් කරතොත් එය මනා සේ ම කළ යුතුය. ඒ සදහා දැඩි සේ උත්සාහ කළ යුතු ය. ලිහිල් සේ කළ මහණ කම බොහෝ සේ කෙලෙස් රජස් වගුරුවයි.

314.෴

අකතං දුක්කතං සෙය්‍යො – පචඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යො – යං කත්වා නානුතප්පති.

 

Akatam dukkatam seyyo
paccha tappati dukkatam
katanca sukatam seyyo
yam katva nanutappati.

(ජේතවන – ඊර්ෂ්‍යාකාර ස්ත්‍රියක් ඇරබ)

නපුරු දෙය නො කරන ලද්දේ නම් යෙහෙකි. නපුරු දෙය කිරීමෙන් පසු පසුවත් සිහිවෙන විටක් පාසා තැවිල්ලට පත් වේ. යමක් කොට එසේ පසුතැවිල්ලට පත් නො වේ නම් ඒ යහපත් දෙය කිරීම යෙහෙකි.

315.෴

නගරං යථා පච්චනතං – ගුත්තං සන්තරබාහිරං
එවං ගොපේථ අත්තානං – ඛණො වෙ මා උපච්චගා
ඛණාතිතා හි සොචන්ති – නිරයම්හි සමපපිතා.

 

Nagaram yatha paccantam
guttam santarabahiram
evam gopetha attanam
khano vo ma upaccaga
khanatita hi socanti
nirayamhi samappita.

(ජේතවන – භික්ෂුන් පිරිසක් ඇරබ)

ඇතුළතින් හා පිටතින් රක්නා ලද ප්‍රාන්ත නුවරක් මෙන් තම සිත ආරක්ෂා කරව. රැක ගනිව්. මේ අවස්ථාව නිකරුනේ අපතේ නොයවව්. බුද්ධෝත්පාද කාලයක ඉපදුනද කාලය අපතේ හැරි පුද්ගලයෝ නරකයෙහි වැටුනු පසු ශෝක කරත්.

316.෴

අලජ්ජිතායෙ ලජ්ජනති, – ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිච්ඡාදිටඨිසමාදානා – සත්තා ගච්ඡනති දුග්ගතිං

 

Alajjitaye lajjanti
lajjitaye na lajjare
micchaditthisamadana
satta gacchanti duggatim.

(ජේතවන – නිගණ්ඨයන් ඇරබ)

ලැජ්ජා නොවිය යුතු (කුසල් කිරීමාදියෙහි) ලැජ්ජාව ට පැමිණෙත් ද, ලැජ්ජා විය යුතු (අකුශල කර්මයෙහි) ලැජ්ජා නොකෙරත් ද වැරදි ඇදහීම් ඇති ඒ පුද්ගලයෝ දුගතියට යත්.

317.෴

අභයෙ ච භයදස්සිනො – භයෙ චා භයදස්සිනො
මිච්ඡාදිටඨිසමාදානා – සත්තා ගච්ඡනති දුග්ගතිං.

 

Abhaye thayadassino
bhaye cabhayadassino
micchaditthisamadana
satta gacchanti duggatim.

(ජේතවන – නිගණ්ඨයන් ඇරබ)

බිය නොවිය යුතු දේ කිරීමට බියවන, නොබිය ව කල හැකි දේ කරනට බියවන සත්ත්වයෝ වැරදි-හිස් අදහස් ගැනීමේ හේතුවෙන් දුගතියට යත්.

318.෴

අවජ්ජේ වජ්ජමතිනෝ – වජ්ජේ චා වජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා – සත්තා ගච්ඡනති දුග්ගතිං.

Avajje vajjamatino
vajje cavajjadassi no
micchaditthisamada
satta gacchanti duggatim.

(ජේතවන – තීර්ථකයන් ඇරබ)

වැරදි අවබෝධය නිසා නිවැරදි දෙය වැරදිය යන හැගීමත්, වැරදි දෙයෙ හි නිවැරදි යන හැගීමඇති සත්ත්වයෝ දුගතියට යත්.

319.෴

වජ්ජං ච වජ්ජතො ඤත්වා – අවජ්ජං ච අවජ්ජතො
සම්මාදිටඨිසමාදානා – සත්තා ගච්ඡනති සුග්ගතිං.

 

Vajjanca vajjato natva
avajjanca avajjato
sammaditthisamadana
satta gacchanti suggatim.

(ජේතවන – නිගණ්ඨයන් ඇරබ)

හරි අවබෝධය ඇතිව වරද වරද සැටියට ත් නිවැරද දෙය නිවැරද ලෙසත් දැන ගන්නා සත්ත්වයෝ සුගතියට යත්.