හරවත් දෙය සහ නිස්සාරවත් දෙය පිළිබඳ සංසන්දනාත්මක ලෙස විග්‍රහ කෙරෙන ගාථා දහසයකින් සමන්විත යි.

100.෴

සහස්සම්පි චේ වාචා – අනත්ථපදසංහිතා,
ඒකං අත‍්ථපදං සෙය්‍යෝ – යං සුත‍්වා උපසම්මති.

 

Sahassamapi ce vaca
anatthapadasamhita
ekam atthapadam seyyo
yam sutva upasammati.

(වේළුවනාරාමය – තම්බදාඨිය ඇරබ)

අනර්ථය සලසන අර්ථ රහිත පදවලින් යුත් දහසක් වචනයන්ට වඩා
යම් වචනයක් අසා (කෙලෙසුන් ගේ) සංසිදීමට පත් වේ නම්,
ඒ එක් අර්ථ සහිත පදය ශ්‍රේෂ්ඨ යි.

 

101.෴

සහස්සම්පි චේ ගාථා – අනත‍්ථපද සංහිතා,
ඒකං ගාථාපදං සෙය්‍යෝ – යං සුත‍්වා උපසම්මති.

 

Sahassamapi ce gatha
anatthapadasamhita
ekam gathapadam seyyo
yam sutva upasammati.

(ජේතවනාරාමය – දාරුචිරිය තෙරුන් ඇරබ)

වැඩදායක නො වූ පද ඇති ගාථා දහසකට වඩා යම් ගාථා පදයක් අසා පුද්ගලයා සංසිදීම ට පත් වේ නම් ඒ එක් ගාථා පදයම ශ්‍රේෂ්ඨ යි.

 

102.෴

යෝ ච ගාථාසතං භාසේ – අනත‍්ථපදසංහිතා,
ඒකං ධම්මපදං සෙය්‍යෝ – යං සුත‍්වා උපසම්මති.

 

Yo ca gatha satam bhase
anatthapadasamhita
ekam dhammapadam seyyo
yam sutva upasammati.

(ජේතවනාරාමය – කුණ්ඩලකේසි තෙරණිය ඇරබ)

යමෙක් (වර්ණනාදි) නිරර්ථක පදයන් ගෙන් යුත් ගාථා දහසක් කියන්නේ ද, (ඒ ගාථා දහසට වඩා) යම් ධර්මපදයක් අසා පුද්ගලයා කෙලෙස් සංසිදීමට පැමිණේ නම් ඒ එක් ධර්මපදය උතුම් ය.

103.෴

යෝ සහස්සං සහස්සේන – සංගාමෙ මානුසේ ජිනේ,
ඒකං ච ජෙය්‍ය අත්තානං – ස වේ සංගාමජුත්තමෝ.

 

Yo sahassam sahassena
sangame manuse jine
ekanca jeyyamattanam
sa ve sangamajuttamo.

(ජේතවනාරාමය – කුණ්ඩලකේසි තෙරණිය ඇරබ)

යමෙක් යුද්ධයක දී දශලක්ෂයක් මිනිසුන් ජය ගන්නවාට වඩා,
තමා ගේ සන්තානය ජයගනී ද,
ඒ පුද්ගලයා ජයගන්නා මිනිසුන් අතරෙ හි ශ්‍රේෂ්ඨ යි.

 

104.෴

අත්තා හවේ ජිතං සෙය්‍යෝ – යාචායං ඉතරා පජා
අත්තදනතස්ස පොසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ.

 

Atta have jitam seyyo
ya cayam itara paja
attadantassa posassa
niccam sannatacarino.

(ජේතවනාරාමය – බමුණකු ඇරබ)

තම සිත රාගාදී කෙලෙස්වලින් දිනන ලද්දේ ද,
එයම ඒකාන්තයෙන් උතුම් වේ.
දූ කෙලීම ආදියෙහි හෝ යුද්ධයෙහි දී දිනීම
එතරම් උසස් නො වේ.

 

105.෴

නේව දේවෝ න ගන‍්ධබ්බෝ – න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා – තථා රූපස්ස ජන්තුනෝ.

 

Neva devo na gandhabbo
na Maro saha Brahmuna
jitam apajitam kayira
tatharupassa jantuno.

(ජේතවනාරාමය – බමුණකු ඇරබ)

සිත දමනය කළා වූ පුද්ගලයා ගේ කෙලෙස් දිනීම,
නැවත පැරදීමක් කරන්නට ශක්‍රාදී දෙවියෙකුට වත්,
ගාන්ධර්වයෙකුටවත්, වසවර්ති මාරයාටවත්,
නොපිලිවන.

 

106.෴

මාසේ මාසේ සහස්සේන – යෝ යජේථ සතං සමං,
ඒකං ච භාවිතත්තානං – මුහුත්තම්පි පූජයේ,
සා යේව පූජනා සෙය්‍යෝ – යං චේ වස්සසතං හුතං.

 

Mase mase sahassena
yo vajetha satam samam
ekanca bhivatattanam
muhuttamapi pujaye
sa yeva pujana seyyo
yance vassasatam hutam.

(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ මාමා ඇරබ)

යමෙක් මාස්පතා කහවනු දහය බැගින් වියදම් කරමින් අවුරුදු සියයක් යාග කරන්නේද, යමෙක් වැඩූ සිත් ඇති ආර්ය පුද්ගලයෙකු ට මොහොතක් පමණ කල් පූජා පවත්වන්නේ ද, ඒ දෙකෙන් අවුරුදු සියයක් මුළුල්ලේ කළ යාගයට වඩා ඒ මොහොතක් කළ පූජාව ශ්‍රේෂ්ඨ යි.

 

107.෴

යෝ චේ වස්ස සතං ජන්තු – අග්ගිං පරිචරේ වනේ,
ඒකං ච භාවිතත්තානං – මුහුත්තම්පි පූජයේ,
සා යේව පූජනා සෙය්‍යෝ – යං චේ වස්සසතං හුතං.

 

Yo ca vassasatam jantu
aggim paricare vane
ekanca bhavitattanam
muhuttamapi pujaye
sa yeva pujana seyyo
yance vassasatam hutam.

(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ බෑණකු ඇරබ)

යම් මිනිසෙක් අවුරුදු සියයක් මුළුල්ලේ වනයෙහි නැවතී ගිනි දෙවියා පුදයි ද, යමෙක් මොහොතක් පමණ කල් වැඩූ ආත්ම ඇති ආර්ය පුද්ගලයෙකුට පූජා කෙරේ ද, ඒ දෙක අතුරෙන් අවුරුදු සියයක් කළ ගිනි පූජාවට වඩා එක් මොහොතක් ආර්ය පුද්ගලයෙකුට කළ පූජාව ම උසස් ය.

 

108.෴

යං කිංචි යිට්ඨං ව හුතං ව ලෝකේ – සංවච්ඡරං යජේථ පුඤ්ඤපේඛෝ,
සබ්බම්පි තං න චතුභාගමේති – අහිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ.

 

Yamkinci yittham va hutam va loke
samvaccharam yajetha punnapekkho
sabbampi tam na catubhagameti
abhivadana ujjugatesu seyyo.

(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ යහලූ බමණුකු ඇරබ)

පින් බලාපොරොත්තු වන්නා වූ යමෙකු මේ ලෝකයෙ හි ඇති තාක් යාගයන් හෝ ගිනි පූජා නැමැති හෝමයන් අවුරුද්දක් මුළුල්ලේ කළ ත් ඒ සියල්ල ආර්ය පුද්ගලයෙකුට කරන වැඳීමෙන් සතරෙන් කොටසකුත් වටින්නේ නො වේ. ආර්ය පුද්ගල නමස්කාරය යාගයන් ට වඩා ශ්‍රේෂ්ඨ යි.

 

109.෴

අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං.

 

Abhivadanasilissa
niccam vuddhapacayino
cattaro dhamma vaddhanti
ayu vanno sukham balam.

(දීඝලම්බක -දීඝායු කුමරුන් ඇරබ)

නිතර සිල්වතුන්ට වඳීන පුරුද්ද ඇති, ගුණයෙන් වැඩිහිටියන් ට ගෞරව කරන ස්වභාව ඇති පුද්ගලයා ගේ ආයුෂය, වර්ණය, සැපය, ශරීර බලය යන සතර වැඩේ.

 

110.෴

යෝ චේ වස්සසතං ජිවේ – දුස්සීලො අසමාහිතෝ,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ – සීලවන්තස්ස ඣායිනෝ.

 

Vo ca vassasatam jive
dussilo asamahito
ekaham jivitam seyyo
silavantassa jhayino.

(ජේතවනාරාමය – සංකිච්ච තෙරුන් ඇරබ)

සිල් නැතිව (පව් කරමින්) නො සන්සුන් සිතක් ඇති ව අවුරුදු සියයක් ජීවත් වීමට වඩා සිල්වත් ව ධ්‍යාන වඩන්නාහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

 

111.෴

යෝ චෙ වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ.

 

Yo ca vassasatam jive
duppanno asamahito
ekaham jivitam seyyo
pannavantassa jhayino.

(ජේතවනාරාමය – බාණු කොණ්ඩඤ්ඤ තෙරුන් ඇරබ)

යමෙක් නුවණ නැතිව නො සන්සුන් ව අවුරුදු සියයක් ජීවත් වේ නම්, ඒ ජීවත් වීමට වඩා නුවණැති ධ්‍යාන වඩන්නා ගේ එක් දිනක් ජීවත් වීම උතුම් ය.

 

112.෴

යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – වීරියමාරභතෝ දළ්හං.

 

Yo ca vassasatam jive
kusito 
hinaviriyo
ekaham jivitam seyyo
viriyamarabhato dalham.

(ජේතවනාරාමය – සප්පදාස තෙරුන් ඇරබ)

(ගිහි වූ හෝ පැවිදි වූ) යම් කිසිවෙක් තමා විසින් කළ යුතු දෙයෙහි කම්මැලිව උත්සාහ නැතිව අවුරුදු සියයක් ජීවත් වේද, ඒ ජීවිතයට වඩා දැඩිසේ (කෙලෙස් තැවීමට) වීර්ය වඩන්නාහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

 

113.෴

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං උදයව්‍යයං,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං.

 

Yo ca vassasatam jive
apassam udayabbayam

ekaham jivitam seyyo
passato udayabbayam.

(ජේතවනාරාමය – පටාචාරා තෙරණිය ඇරබ)

යමෙක් ස්කන්ධ පසේ හටගැන්මත් (මොහොතක් පාසා) විනාශවී යාමත් නො දැක (නො දැන) අවුරුදු සියයක් ජීවත් වේ නම්, ඒ ජීවිතයට වඩා රූපාදී ස්කන්ධයන්ගේ හට ගැනීමත් විනාශයත් දක්නහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

 

114.෴

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං අමතං පදං,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං.

 

Yo ca vassasatam jive
apassam amatam padam
ekaham jivitam seyyo
passato amatam padam.

(ජේතවනාරාමය – කිසාගෝතමිය ඇරබ)

යමෙක් නිවණ නොදැක අවුරුදු සියයක් ජීවත් වේද, ඒ ජීවිතයට වඩා නිවණ දක්නහුගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

 

115.෴

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං.

 

Yo ca vassasatam jive
apassam dhammamuttamam

ekaham jivitam seyyo
passato dhammamuttamam.

(ජේතවනය – බහුපුත්ත තෙරණිය ඇරබ)

යමෙක් නව ලොව්තුරා ධර්මය නො දැක අවුරුදු සියයක් ජීවත් වේ ද, ඒ ජීවිතයට වඩා නව ලෝකෝත්තර ධර්මය දක්නහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

සහස්ස වග්ගය නිමි!