ගමේ විශේෂ ස්ථාන

රැටියල බෝධීන් වහන්සේ

රැටියල ගමේ මධ්‍යස්ථානය වන්නේ බෝධින් වහන්සේ පිහිටි ස්ථානය හා ඒ අවට ප‍්‍රදේශයයි. මෙම බෝධින් වහන්සේ රැටියල ගම්මානයට ආභරණයකි. විතානගේ වත්තේ ගසක් මත පැලවී තිබු බෝධි අංකුරයක් ගලවා කන්දේරණසිංහගේ මුදලිහාමි මහතා සහ පී.ඞී.එස්. පේ‍්‍රමවර්ධන මහතා යන දෙදෙනා එකතුව මීට වසර 75 කටත් පෙරාතුව මෙම බෝධි වෘක්‍ෂය අද පිහිටි ස්ථානයේම රෝපණය කර ඇත. ඞී.පොඩි අප්පු මහතාගේ ඉඩමේ කොටසක් යොදාගනිමින් මෙම බෝධි වෘක්‍ෂය වරින් වර ගම්වාසින්ගේ සත්කාර මැද වන්දනා කිරිම් පහසුකම් සහිතව පවත්වාගෙන යයි.

පිංළිඳ 
බෝගහ හංදිය නමින් හඳුන්වන ස්ථානයේ පසෙකින් ස්නානය පිණිස හා පානීය අවශ්‍යතා සඳහා ලිං දෙකක් පිං ලිඳවල් වශයෙන් දිගුකාලක සිට ගම්වාසින්ගේ යහපත සඳහා පවත්වාගෙන යයි. බෝධි වෘක්‍ෂ රෝපනයට සමගාමිව මෙම ස්නානය සඳහා සෑදු පිං ලිඳ ඉඳිකරන ලදැයි පැවසේ. ගම්වාසින් කපා තිබු කුඩා ලිඳක් වෙල්ගමපළාත ගම්සභා කාර්යාලයේ උපසභාපතිව සිටි ජී.ටී.ඞී. කුලපාල වෙදමහතාගේ මැදිහත්විමෙන් සිමෙන්තියෙන් බැඳ වැඩිදියුණු කරන ලදි. ගම්වැසියන් වතුර පානය සඳහා කපා තිබු කුඩා ලිඳක් ලැයිහේරිස් වික‍්‍රම මුදලාලි මහතා ගම් සභා මැම්බර් වශයෙන් සේවය කල අවදියේ සිමෙන්ති යොදා බැඳ වැඩිදියුණු කරන ලදි. අදද මෙම ලිඳ  ඒ අවට ගම්වාසින්ට මහත් සේවයක් සලසයි.

සමුපකාර වෙළඳසැල

ග‍්‍රාමිය ජනතාවට ආර්ථිකමය සහන සැලසීමේ අරමුණින් ශ‍්‍රි ලංකාව පුරා සමුපකාර කඩසමිති ව්‍යාපාරය ආරම්භ වී තිබුණි. රැටියල ප‍්‍රදේශයට එම අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට වු අතර මුල්ම සමුපකාර වෙළඳසැල ගමගේ මෙන්දිරිස් පෙරේරා මහතාගේ නිවස අසල ආරම්භ විය. ඒ 1942 වර්ෂයයි. ප‍්‍රථම කළමනාකරු වුයේ කාලවිල එස්.පී.ජයතිලක නම් මහතෙකි. පසුව ගමේ පදිංචි කළමනාකරුවන් විසින් සමුපකාර වෙළඳසැල අඛණ්ඩව පවත්වාගෙන යන ලද අතර 1972 වර්ෂයේ සමුපකාර සමිති ප‍්‍රතිසංවිධානය කිරිමත් සමඟ එම කඩසමිති විවිධ සේවා සමුපකාර සමිති බවට පරිවර්තනය වු අතර අංක 09 දරන රැුටියල ප‍්‍රාදේශික වෙළඳසැල ආරම්භ වුයේ ඉන් පසුවය. මුල්ම සමුපකාර ප‍්‍රාදේශිකය කාරක සභාවේ සභාපති කේ.එම්.ටී.පෙරේරා මහතාය. ලේකම් රංජිත් ඩබ්.ලියනගේ මහතා වු අතර භාණ්ඩාගාරික වශයෙන් පී.ඩි.පුංචි සිංඤෝ මහතා ද උපලේකම් වශයෙන් ඩි.ඊ පිඹුරගේ මහතාද කටයුතු කල බව සඳහන්වේ.